වෙසක් දින පණිවිඩය.
- ඉනෝකා සත්‍යාංගනී.

- May 7, 2020
- 2 min read

ධර්මයෙහි හැසිරෙමින් උතුම් තෙමඟුල සමරමු
සමස්ත ලෝකවාසී සැදැහැති බෞද්ධයාගේ පරම පූජනීය ඓතිහාසික වැදගත්කමකින් අනූන ආගමික දිනය වන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.
ශ්‍රී ලාංකේය මෙන්ම සකල ලෝකවාසී බෞද්ධ ජනතාවටත්, ලෝකවාසී සියලු දනන්ටත් උතුම් තෙමඟුල් දිනයක් ප්‍රාර්ථනා කරමි.
ලෝ සතුන් අපමණ දුක් හිරිහැර විඳිමින් ගත කළ දුක්බර ජීවිතය්ට සැනසුම උදාකර ඔවුන් සසර සයුරින් එතෙර කිරීමේ මහා කරුණාවෙන් යුතු වූ අප මහා බෝසතාණන් උතුම් වූ බුද්ධත්වයට පත් වීම ඇතුළු උතුම් ශාසනික සිදුවීම්වලින් සමන්විත වෙසක් පුන් පොහෝ දිනය ලෝකවාසී සියලු දනන්ට ඉතා වැදගත් දිනයකි.
විශ්වයේ ඇති පරම සත්‍යය නුවණින් දැක බුදුන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය දිනෙන් දින සනාථ කරන්නේ උන් වහන්සේගේ ධර්මයෙහි සර්වකාලීන බවයි.
ආරෝග්‍යා පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං” යනුවෙන් බුදු හිමියන් දෙසූ වදන්වල අරුත වූයේ “නිරෝගී බව උතුම් ලාභයකි, සතුට උතුම් ධනයකි” යන්නය.
උන්වහන්සේ දේශනා කළ සුවාසූදහසක් ධර්මස්කන්ධයෙහි සියලුම කොටස් ගම්‍ය කරන්නේ පරම සත්‍ය යි.
අද මුළුමහත් ලෝකවාසීන්ම "නිරෝගී සුවය" ප්‍රාර්ථනා කරමින් සිටී. සතුට සොයා වෙහෙසෙමින් සිටී. මේ ව්‍යාකූල තත්ත්වය තුළින් පවා ගම්‍ය කරණුයේ සම්බුදු පියාණන්ගේ ධර්මයෙහි පවත්නා යථාර්ථය යි.
ඒ අනුව මේ කොරෝනා උවදුරු වකවානුවේ එහි අවධානමෙහි සිටින ලෝකවාසී සියලුම දෙනාට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමි.ත්‍රියිනිකායික මහා සංඝරත්නය අනුදැන වදාල පරිදි ඊට අනුගතව ආගමික කටයුතුවල යෙදෙමින් මෙවර තෙමගුල සැමරීමට ඉටා ගැනීම වටී.උන්වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය කරුණා පෙරදැරිව මේ මොහොතේ සිහිපත් කරමි.ශ්‍රී සම්බුද්ධ ධර්මය චිරාත් කාලයක් සුරක්ෂිතව පැවැතියේ මහ සගරුවනෙහි අප්‍රතිහත කැපකිරීම් නිසාය.
සෞඛ්‍යමය උපදෙස් පිළිපදිමින්, සමාජ දුරස්ථභාවය රකිමින් 'හදවත සහ නිවස පන්සලක් කොටගෙන' උතුම් තෙමඟුල සමරමු යැයි නැවත ඉල්ලා සිටිමි.
විශේෂයෙන්ම මේ පවත්නා ව්‍යසනකාරී වාතාවරණය පලවා හරින්නට වෙහෙසෙන සෞඛ්‍ය, ආරක්ෂක යනාදී සියලු අංශවල උතුම් මිනිසුන් ඉටු කරන උදාර මෙහෙවර මේ ශ්‍රේෂ්ඨ දිනයෙහි ගෞරවය පෙරදැරිව සිහිපත් කරමු.
'ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරනු ඇතැයි' යන උතුම් බුදු වදනට අනුගතව 'නොපමාව කුසල් රැස් කිරීම'මේ උතුම් තෙමඟුල් දිනයෙහි සියලු හදවත් තුළ තිරසාරව සනිටුහන් කරගැනීම මැනැවැයි සටහන් කරනු කැමැත්තෙමි.
සජිත් ප්‍රේමදාස
සමගි ජන බලවේගයේ නායක


Comments